ගෙහාන් ගුණතිලක
ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස යන විෂයය ක්ෂේත්‍රයට ඇතුළත් වන, වඩාත්ම විවාදයට තුඩු දුන් ගැටළුව ඇත්තේ ආගම් ප්‍රචාරය සම්බන්ධයෙනි. ‘වන්දනාව’, ‘පිළිපැදීම’, ‘ප්‍රගුණ කිරීම’ සහ ‘ඉගැන්වීම’ හරහා තමන්ගේ ආගම හෝ විශ්වාසය ප්‍රකාශ කිරීමට ඇති නිදහස ජාත්‍යන්තර නීතියෙන් සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැහැදිලිවම පිළිගෙන ඇති නිදහස වේ. කෙසේවෙතත් එම පුළුල් නිදහස තුළට තමන්ගේ ආගම ප්‍රචාරය කිරීමේ නිදහස ඇතුළත් කිරීම බෙහෙවින් විවාදාත්මක වී තිබේ. මේ ගැටළුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් පවතින නීතිය පිළිබඳව මෙම ලිපිය හරහා පැහැදිලි කෙරෙන අතර, ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහසේ (FoRB) විෂයයපථය තුළට ආගම ප්‍රචාරය ඇතුළත් කිරීමට පක්ෂව කරුණු දක්වනු ලැබේ.
විෂයයපථය සහ සීමාකිරීම්
තමන්ගේ ආගම ප්‍රචාරය කිරීම, එනම්, ඉවැන්ජලීකරණය හෝ ධර්මප්‍රචාරය (evangelise or proselytise) ශ්‍රී ලංකාවේ ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහසෙහි කොටසක් වශයෙන් නොසැලකේ. යොහෝවාගේ සාක්ෂිකරු ප්‍රජාව සම්බන්ධ වූ මෑතකාලීන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් සහ ඊට පෙර පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් තීරණය කිරීමේ නඩු තීන්දුවලින් මෙම ස්ථාවරය පැහැදිලිව දැකගත හැකිය. ආගම හෝ විශ්වාසය ප්‍රකාශ කිරීමේ නිදහසෙහි එක් එක් අංගය සලකා බැලූ අධිකරණය යමෙකුගේ ආගම ප්‍රචාරය ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහසෙහි කොටසක් නොවන බව නිගමනය කළේ ය. ආගම ප්‍රචාරය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඉ) ව්‍යවස්ථාවේ සඳහන් වන ‘වන්දනාවේ’ හෝ ‘පිළිපැදීමේ’ කොටසක් වශයෙන් සැලකිය නොහැකි බව අධිකරණයේ නිරීක්ෂණය විය. තවද, 14(1)(ඉ) ව්‍යවස්ථාවේ සඳහන් වන ‘ප්‍රගුණ කිරීම’ යන්නෙන් අදහස් කෙරෙන්නේ ‘යම් ආගමක හෝ විශ්වාස මාලාවක ‘වන්දනා’ සහ ‘පිළිපැදීමේ’ ක්‍රියාවන් සිදුකරන අතරතුර, හෝ ඒවාට සම්බන්ධව, හෝ ඒවායින් පසුව සිදුකරනු ලබන සාම්ප්‍රදායික හෝ චාරිත්‍රානුකූල පූජාවිධිය, පිළිවෙතක් හෝ ක්‍රියාවක්’ වන බව අධිකරණයෙන් තවදුරටත් සඳහන් කරන ලදී. එසේම, ‘ඉගැන්වීම’ යන්නෙන් ‘උපදෙස් දීම, පාඩම් කියාදීම හා පුහුණු කිරීම හරහා ගුරුවරයකු විසින් සිසුවකු/සිසුන් වෙත දැනුම හා කුසලතා ලබාදීමේ ක්‍රියාවලියක්’ හැඟවෙන බව ද, එවැනි ඉගැන්වීමක් දෙපාර්ශවයේ ම කැමැත්තෙන් සහ, කලින් එකඟවී සූදානම් කරගෙන සිදුවනු ඇති බවත් සඳහන් කරන ලදී. එනිසා, දොරින් දොරට ගොස් ඉවැන්ජලීකරණය කිරීමේ යොහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ව්‍යවහාරය FORB හි විෂයයපථයට ඇතුළත් නොවන බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිශ්චිත ආරක්ෂාවකට යටත් වූවක් නොවන බවත් ප්‍රකාශ කරන ලදී.
ආගම හෝ විශ්වාස ප්‍රචාරය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරදුන් අයිතියක් නොමැති බව, මීට පෙර, මෙන්සින්ගන් නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර තිබුණි. එම නඩුවේ දී අධිකරණය, ‘කතෝලික ආගම පිළිබඳ දැනුම’ පතුරුවාලීමේ කාර්යය සඳහා යැයි සඳහන් වූ ආයතනයක් සංස්ථාපනය කිරීම සඳහා ඉදිරිපත් කෙරුනු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය තක්සේරු කරන ලදී. බුද්ධාගමට ‘ප්‍රමුඛස්ථානය’ පිරිනමන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි ව්‍යවස්ථාවට මෙම පනත අනනුකූල වන බව අධිකරණයේ තීන්දුව විය. තමන්ගේ ආගමට පිටස්තර අයට ද්‍රව්‍යමය වාසි ආධාර ලබාදීමට ඉදිරිපත් වීම මගින් තමන්ගේ ආගම ‘ප්‍රචාරය කිරීම’ 9 වැනි ව්‍යවස්ථාවෙන් අනෙක් ආගම්වලට සීමා කෙරෙන බව එහිදී සඳහන් විය. ‘[ද්‍රව්‍යමය වාසි ආධාර ලබාදීම හරහා] ආගම ප්‍රචාරය සහ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීම බුද්ධාගම හෝ බුද්ධ ශාසනයේ පැවැත්මට හානියක් කරන බැවින්, ඒ සඳහා අවසර දිය නොහැකිය’ යනුවෙන් අධිකරණය තීන්දු කළේ ය.
අධිකරණය ගත් මෙම ස්ථාවරය දෘෂ්ටිකෝණ දෙකකින් විචාරය කළ හැකිය. මුලින්ම, FORB විෂයයපථය සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර නීති මතය සමගින් අධිකරණයේ මෙම ස්ථාවරය අනුකූල වන බවක් නොපෙනේ. තමන්ගේ ආගම සම්බන්ධයෙන් සකස් කෙරුනු ප්‍රකාශන බෙදාහැරීමට ඇති හැකියාව බොහෝවිට ආගම හෝ විශ්වාසය ප්‍රකාශ කිරීමෙහි මූලික අංගයක් වන අතර, එය ‘ඉගැන්වීමේ’ විෂයයපථය යටතට ගැනෙන්නක් වශයෙන් සැලකිය හැකිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව 18 වැනි වගන්තියේ (සිතීමේ, හෘද සාක්ෂියේ හෝ ආගමික නිදහස) පොදු අදහස් අංක 22 හි සඳහන් කර ඇති අන්දමට ආගම ප්‍රගුණ කිරීම සහ ඉගැන්වීමට ‘ආගමික පාඨ හෝ ප්‍රකාශන සකස් කිරීම සහ බෙදාහැරීම සඳහා වන නිදහස’ ඇතුළත් වේ. එබැවින්, බොහෝවිට ආගම ප්‍රචාරය කරන එක් ආකාරයක් වන, මිනිසුන් හමුවීමට ගොස් පත්‍රිකා බෙදාහැරීම, FORB හි කොටසක් වශයෙන් සැලකිය යුතු වේ. කෙසේනමුත්, ආගම හෝ විශ්වාසය ප්‍රකාශ කිරීමට ඇති නිදහසේ සියළුම අංග මෙන් ම FORB හි මෙම අංගය ද, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 18(3) වගන්තිය ප්‍රකාරව සීමා කිරීම්වලට ලක් කළ හැකිය.
එසේනම්, ආගම ප්‍රචාරය කිරීමේ යම් ක්‍රියාවක් අධිකරණයේ තක්සේරුවට ලක්වීමේදී එය, අදාළ ක්‍රියාව සීමාවට ලක් කළයුතුද නැතිද යන්න සම්බන්ධයන් මිස, ආගම ප්‍රචාරය FORB විෂයයපථය තුළට ඇතුළත් වන්නේද නැතිද යන්න සම්බන්ධයෙන් ඇති ප්‍රශ්නයක් නොවනු ඇත. පැහැදිලිවම, අන්‍යයන්ගේ අයිතිවාසිකම් සහ නිදහස වැනි යම් යම් මහජන ලැදියාවන් පදනම් කරගෙන ආගම් ප්‍රචාරක ක්‍රියාවන් සීමා කිරීමට හැකියාව තිබේ. උදාහරණයක් වශයෙන්, ආගම ප්‍රචාරය බල කරන ස්වභාවයක් ගතහොත්, බල කිරීමකට ලක් නොවී තමන් කැමති ආගමක් දැරීමට හෝ අනුගමනය කිරීමට තවත් පුද්ගලයකුට ඇති නිදහස ආරක්ෂා කිරීම සඳහා එවන් ක්‍රියා සීමා කිරීමට හැකිය. ඒ පසුබිම තුළ, ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු විය යුතුව තිබුනේ යම් කිසි ආගම් ප්‍රචාරක ක්‍රියාවක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(7) ව්‍යවස්ථාව යටතේ සීමාකළ හැකිද නැද්ද යන්න වෙත මිස අදාළ ක්‍රියාව 14(1)(ඉ) ව්‍යවස්ථාවේ විෂයයපථය යටතට ඇතුළත් වේ ද නැති ද යන්න වෙත නොවේ.
දෙවැනුව, ආගම ප්‍රචාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්ථාවරය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සුසංයෝගී අර්ථ නිරූපණයකට අනුගත නොවේ. එහෙත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්නට ලැබෙන විවිධ සම්මතයන්හි වඩාත් සුසංයෝගී කියවීමක් කළ හැකි ය. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීමත්, බුද්ධ ශාසනය ආරක්‍ෂා කර පෝෂණය කිරීමත්, 9 වැනි ව්‍යවස්ථාව මගින් රාජ්‍යයට පැවරී ඇති යුතුකමකි. මෙම ව්‍යවස්ථාවේ සෘජු ප්‍රතිඵලයක් ලෙස බෞද්ධයන්ට තම ආගම ප්‍රචාරය කිරීමේ නිදහස ආරක්‍ෂා වී තිබේ. එක් ආගමකට පක්ෂපාතී අන්දමින් සැලකීම ගැටළු සහගත බවට සැකයක් නැත; නමුත් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතික්ෂේප කළ නොහැකි ලක්ෂණයක් ලෙස පවතී. 14(1)(e) වගන්තියේ විෂයපථයෙන් ප්‍රකාශන බෙදා හැරීමේ හැකියාව වැනි ප්‍රචාරය කිරීමේ නිදහස බැහැර කිරීම හරහා, බුද්ධාගම ආරක්ෂා කිරීමට සහ පෝෂණය කිරීම රාජ්‍ය යුතුකමක් වීමෙන් බුද්ධාගමට පමණක් ප්‍රතිලාභ ලබා දෙන්නා වූ 9 වන වගන්තියේ දැනටමත් මුල් බැස ගෙන ඇති අසමානතාවය උග්‍ර කරයි.
පැහැදිලිවම පෙනෙන මෙම අසමානතාවය අවම කළ හැකි එක් ක්‍රමයක් නම්, වෙනත් ආගම්වල අනුගාමිකයින්ට තමන්ගේම මුලපිරීම මත තමන්ගේ ආගම පෝෂණය කිරීමට ඇති නිදහස පිළිගැනීමට ලක් කිරීමයි. 9 වැනි ව්‍යවස්ථාව සලකා බලන විට, එවැනි පිළිගැනීමකින් සියලු ආගමික කණ්ඩායම්වලට පූර්ණ සමානාත්මතාවය ලබා නොදෙනු ඇතිමුත්, එය අවම වශයෙන් අසමානතාවයේ තරම පටු කරනු ඇත. එවැන්නක්, 9 වැනි ව්‍යවස්ථාව යටතේ රාජ්‍යයේ යුතුකම, එකී 9 වැනි ව්‍යවස්ථාවේම දක්වා ඇති කොන්දේසියට යටත් වේ ය යන කාරනය සමඟ සමපාත වේ. ඊට අනුව රාජ්‍යය10 සහ 14(1) (ඉ) ව්‍යවස්ථා මගින් ලබා දී ඇති අයිතීන් සියලු ‘අනෙක් ආගම්’ සඳහා සහතික වන ආකාරයෙන් මෙම වගන්තියේ යුතුකම සපුරාලිය යුතු ය. අවම වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(e) වගන්තියේ විෂය පථයේ කොටසක් ලෙස හෝ ආගම ප්‍රචාරය පිළිගෙන ඇත්නම්, රාජ්‍යයේ සහය නොමැතිව වුවද තම ආගම් ප්‍රචාරය කිරීම සඳහා අනෙකුත් ආගමික කණ්ඩායම්වලට ඇති නිදහසට ගරු කරමින් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට සහ පෝෂණය කිරීමට රාජ්‍යය බැඳෙනු ඇත
අදහස් වෙළඳපල
ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ විෂයයපථයෙන් පිටතට ආගම් ප්‍රචාරය බැහැර කළ විට ඇතිවන්නේ විරුද්ධාභාසයකි. එක් අතකින්, ආගමට සමාජයේ සුවිශේෂී ස්ථානයක් ලබා දී ඇති අතර, අනෙකුත් මතවාද හා විශ්වාසයන්ට වඩා වැඩි වැදගත්කමක් සහිත මතවාදයක් වශයෙන් බොහෝ අවස්ථාවලදී ආගමට සලකනු ලැබේ. උදාහරණයක් වශයෙන්, ආගම් විවේචනය කිරීම හෝ ආගමට පහර ගැසීම සම්බන්ධයෙන් ඇත්තේ දැඩි සංවේදිබවකි. ‘ආගමික හැඟීම්වලට රිදවීම/හානි කිරීම’ පිළිබඳව සඳහන් වන ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන ඇතැම් වරදවල් හරහා අවධාරණය කරන්නේ මේ සංවේදීබවයි. එනමුත්, අනෙක් අතට, දේශපාලන කතිකාවන් හෝ ආර්ථික කතිකාවන් සඳහා අදහස් වෙළඳපල තුළ ලබා දී ඇති ආරක්ෂාවට වඩා අඩු ආරක්ෂාවක් එහි දී ආගමට ලබා දී ඇති බවක් පෙනේ. එසේනම්, ඉන් වඩාත් පැහැදිලි වන්නේ ඉහත කී සුවිශේෂී යැයි කියන තත්වය ලැබී ඇත්තේ පිළිගත්, එසේනැතිනම් ඕතොඩොක්ස් ආගම්වලට පමණක් බවයි. ඒ අනුව, ආගම් ප්‍රචාරය සම්බන්ධයෙන් ගෙන ඇති වත්මන් ප්‍රවේශය නිසගයෙන්ම ආයතනවාදී එකකි.
දේශපාලන ක්ෂේත්‍රය ගතහොත්, සාමාන්‍යයෙන්, දේශපාලන පක්ෂවලට තමතමන්ගේ පණිවුඩය ප්‍රචාරය කිරීම සඳහා, විශේෂයෙන්ම මැතිවරණ සමයේ තමන්ගේ පණිවුඩය ප්‍රචාරය කිරීම සඳහා අවසරය ලැබේ. එවන් ප්‍රචාරක කටයුතු දේශපාලන සහභාගීත්වය සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු දේශපාලන නිදහසෙහි සහ ඡන්දය දීම සඳහා ඇති අයිතියේ කොටසක් වශයෙන් සලකනු ලැබේ. ආර්ථික ක්ෂේත්‍රය ගත් කල, සාමාන්‍යයෙන්, නිෂ්පාදකයින්ට සහ සේවා සපයන්නන්ට තමන්ගේ භාණ්ඩ හා සේවා පිළිබඳ ප්‍රචාරය කරන්නට අවසර තිබේ. එසේ කිරීමට හැකිවීම තරඟකාරී වෙළඳපලක ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යාවශ්‍ය යැයි සලකනු ලැබේ.
කුඩා සහ අළුතින් මතුවන දේශපාලන පක්ෂයකට විකල්ප පණිවුඩයක් ප්‍රචාරය කරමින් මැතිවරණයට තරඟ වැදීමට විශාල සහ වඩාත් පිළිගත් දේශපාලන පක්ෂ විසින් ඉඩ නොදුනහොත් එය දේශපාලන නිදහසට පටහැනි ක්‍රියාවක් වනු ඇත. දේශපාලන විවාද කොතරම් ප්‍රකෝපකාරී ලෙස, හෝ ඇතැම්විටක ප්‍රචණ්ඩකාරී ලෙස සිදුවුවත්, දේශපාලන තලයේ විවාද ඇතිවීම සමාජයෙන් පිළිගනියි. එසේම, විශාල ව්‍යාපාරයකට වෙළඳපලේ ඒකාධිකාරයක් පිහිටුවාගැනීමට ඉඩදීම සහ අළුත් නිෂ්පාදකයින් හා සේවා සපයන්නන් විසින් ප්‍රචාරණය සිදුකිරීම වැලැක්වීම වෙළඳපල ආර්ථිකයක සිදුවීමට සිතන්නටවත් නොහැකිය.
එසේ හෙයින්, දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයන් හි, ප්‍රචාරය සලකනු ලබන්නේ වඩාත් සජීවී වෙළඳපලක පවතින යහපත් පැතිකඩක් වශයෙනි. එනමුත් මීට සමාන වන ආගම ප්‍රචාරය කිරීමේ නිදහස, තමන්ගේ පණිවුඩය පතුරුවා තමන්ගේ ආගම වැළඳගැනීමට අන්‍යයින්ව දිරිගැන්වීමේ කටයුත්ත සඳහා අහිමි වී තිබේ.
ආගමක් ප්‍රචාරය කරන්නට නිදහස ලබාදීම ප්‍රතික්ෂේප කිරීම, දැනට පවත්නා තත්වය නොවෙනස්ව පවත්වාගෙන යෑමට වාසිසහගත වන බවක් සහ දැනටමත් පිළිගැනීමක් ලබා සිටින ආගමික කණ්ඩායම්වල ලැදියාවන්ට පක්ෂපාතී තත්වයක් වන බවක් පෙනේ. මේ පසුබිම තුළ, ආගම් ප්‍රචාරය සඳහා නිදහස FORB විෂයයපථයට අයත් නොවේ ය යන අදහස තුළින් පිළිබිඹු වන්නේ, ආගමික වෙළඳපල තුළ තමන්ට යන්තම් හෝ අවකාශයක් නිර්මාණය කරගැනීමට තමන්ගේ පණිවුඩය ප්‍රචාරය කිරීමට ස්වභාවයෙන්ම වුවමනා කරන ඕතොඩොක්ස් නොවන හෝ අළුත් ආගමික කණ්ඩායම් නොඉවසීමකි.
වර්තමානයේ පිළිගත් ආගම් වන සියළුම ආගම් ද අතීතයේ එක්තරා අවස්ථාවකදී පැවති තත්වයට අභියෝග කළ ආගම් වූ බව අප අමතක නොකළ යුතු ය. බුද්ධාගමින් හින්දු ආගම අභියෝගයට ලක් කළ අතර, ක්‍රිස්තියානි ආගමින් රෝමානු මිත්‍යාදෘෂ්ටිය හා යුදෙවුවාදය ද, ප්‍රොතෙස්තන්ත්‍ර දහමින් කතෝලික දහම ද අභියෝගයට ලක් කරන ලදී. සියළුම ආගමික මතවාද ඉස්මතු වී ඇත්තේ සෑහෙන විවාද සහ තරඟ හරහා ය. ඒ අනුව, ආගම් ද, හුදෙක් අදහස් වෙළඳපලේ කොටසක් වේ. සමහර විටක, අනෙකුත් මතවාද සහ චින්තන ධාරාවලට වඩා සුවිශේෂී ස්ථානයක් ආගම සඳහා හිමිවීම සුදුසු නොවිය හැකිය. එහෙත්, එකිනෙක පරයා යෑමට තරඟ කරන අදහස් ඉවසන්නා වූ, සහ ඒ සඳහා පිළිගැනීමක් පවා ලබාදෙන්නා වූ අනෙකුත් ක්ෂේත්‍රයන්හි අප විසින් පිළිගැනීමට ලක් කර ඇති මූලික නිදහස ආගම් පිළිපදින අයට ද අහිමි නොකළයුතු වේ.
නිගමනය
නීත්‍යානුකූල සීමාවලට යටත් විය හැකි බැවින්, ආගම ප්‍රචාරය කිරීමේ නිදහස පරම නිදහසක් නොවේ. නමුත් එය නිසැකවම FoRB හි කොටසක් වේ. FoRB විෂයපථයෙන් ආගම ප්‍රචාරය බැහැර කිරීම මතවාදීමය වශයෙන් ගැටලු සහගත වනු පමණක් නොව, ආගමික ක්ෂේත්‍රයේ වර්ධනයට හා පරිණාමයට ද එය හානිකර වේ. FoRB යනු පිළිගත් හෝ ඕර්තොඩොක්ස් ආගමික කණ්ඩායම් සඳහා පමණක් පවතින්නක් විය නොහැක. ඇත්ත වශයෙන්ම, FoRB වඩාත්ම අවශ්‍ය වන්නේ කුඩා, ඕර්තොඩොක්ස් නොවන ආගමික කණ්ඩායම්වලට ය; ඔවුන්ගේ ආගම ප්‍රචාරය කිරීමේ නිදහස නිසැකවම FoRB හි අනිවාර්ය අංගයක් ලෙස පවතී.