66 නඩු
ලංකවේ ඉඩම් නඩු කොහොමත් වැඩියි. කල්ගත වීමත් වැඩියි ඒ හින්දා ඉඩම්වලට මිනීමරා ගන්න එකත් වැඩියි. මොකද ඉඩමක් කියන්නේ පවුලක මුළු ජීවිතය වෙන්න පුලූවන්. ජීවිතය වගේ තියන ඉඩම නැති වුණොත් එතකොට මිනීමැරෙන සිද්ධි වෙන්න පුලූවන්. එහෙම ඉඩමක භුක්තිය සම්බන්ධව සාමය කඩවීමක් ඇති වුණොත් අදාළ ප‍්‍රතිපාදන 1979 අංක 44 දරන ප‍්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66 වගන්තියේ සිට 78 වගන්තිය දක්වා ඉතා පැහැදිලිව සටහන් කොට ඇත.
මේ නඩු වර්ගයද මම කලින් වතාවල කියූ වැළැක්වීමේ නඩු වර්ගවලට අයත්ය. මෙහි දණ්ඩනයක් නැත. දණ්ඩනය ඇත්තේ නියෝග කඩ කළොත් පමණි. එම නියෝග කඩ කළ විට ලැබෙන දඬුවම් පනතේ 73 වගන්තියේ සටහන් කර ඇත.
මේ සම්බන්ධව පොලීසියට පැහැදිලි කර්තව්‍යයක් පනතේම විස්තර කර තිබුණ ද අද වන විට පොලීසිය මේ පනත යටතේ නඩු දාන්නේ අඩුවෙනි. බොහෝ විට මේ පනත යටතේ පුද්ගලික නඩුවක් දමන ආකාරයෙන් දැමිය යුතුය. ඒ අනුව අපට තිබෙන ආදර්ශය වන්නේ අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 136(1) ආ වගන්තිය යි. එහිදී මෙය ලඝු ආකාරයෙන් විභාග වන සිවිල් නඩුවක හැඩය ගනී. මෙය ඉඩමක සන්තයක හෝ භුක්තිය පිළිබඳ නඩුවක් ලෙස කිව්වද එය සාමය කඩවීම සඳහා කරන්නා වූ වැළැක්වීමේ පිළියමක් ලෙස දැකිය හැක. එහිදී කිසිම පාර්ශවයකට දඬුවම් නොකර ඉඩමේ සන්තකය අධිකරණය සෑහීමකට පත්වන පර්ශවයකට ලබාදීම සිදු කෙරේ. එසේ ලබාදීමේ දී කියන කාරණය වන්නේ මේ සම්බන්ධව අතෘප්තියට පත් පාර්ශවයට අයිතිය පිළිබඳ සිවිල් නඩුවක් මඟින් සුදුසු අධිකරණයක නඩු පවරා තීන්දුවක් ලබා ගන්නා ලෙසය. ඒ නිසාම 81 වගන්තිය මෙන් යම් ආකාරයකට මෙහි තාවකාලික ස්වරූපයක්ද පෙන්වයි. එනම් යම් නිශ්චිත ක‍්‍රියාවක් සිදුවන තුරු පමණක් මෙය ක‍්‍රියාත්මක වන බවයි.
මේ පනත පෙර මේ කාරණය සාකච්ඡුා වූයේ යුක්තිය පසඳලීමේ පනතේ 62 වගන්තිය යටතේය. මේ පනතේ මේ කොටස බොහෝ දුරට ඉන්දීය අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 145 වගන්තියට සමාන වන අතර මා සිතන ආකාරයට එය අපට වඩ පුළුල් ය. අපේ පනත පුළුල්ව නැති මුත් අතිවිශාල නඩු තීන්දු ගණනකින් අපේ නීතිය ද වර්ධනය වී ඇත. ඉන්දීය නීතියේදී මෙය වතුර, වගා බිම්, මරකැට්ටු දක්ව පුළුල් කර ඇත. පහත ලින්කුව බලන්න.
මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා – https://indiankanoon.org/doc/1405190
දැන් පනත කියවමූ. මේ පනත අනුව යම් පාර්ශව කීපයක් ඉඩමක භුක්තිය ගැන සාමය කඩ කරයි නම් එය යම් අධිකරණ බල ප‍්‍රදේශක සිදුවේද එහි මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැක. පොලීසිය විසින් අධිකරණට කරුණු වාර්තා කළ යුතුය. ඒ අනුව එම කරුණු වාර්තාවට අදාල පාර්ශව පොලීසිය විසින් අධිකරණට ඉදිරිපත් කරන අතර අවශ්‍ය නම් රක්ශිත බන්ධනාගර ගත කිරීමද කරයි. එමෙන්ම දෙපාර්ශවයටම මේ සම්බන්ධව තමන්ගේ අයිතිවාසිකම් දිවුරුම් ප‍්‍රකාශ හා ලේඛන මඟින් ඉදිරිපත් කරන ලෙස කියා සති 3 කට නොවැඩි කාලයක් ලබාදේ. මෙහිදී බොහෝ තීරණය වූ නඩුවල මේ පනතේ ඇති කාලය හා පටිපාටිය ඉටු නොවුණා කියා ඉහළ අධිකරණ දක්වා නඩු යෑම සිරිතයි. එහෙදී මේ නඩු සුවිශේෂීත්වයක් ගනියි.
එසේ දිවුරුම් ප‍්‍රකාශවල තමන් මේ ඉඩමේ සන්තකය දරන්නේ කෙසේද යන්න ලේඛන මඟින් අධිකරණට කරුණු ඉදිරිපත් කළ යුතුය හා ඉන් පසු එයට තවත් සති දෙකක කාලයක් හරස් දිවුරුම් ප‍්‍රකාශවලට කල් ලැබේ. අනතුරුව සති 3ක්ට නොවැඞී කාලයක් තුළ විමසුම ආරම්භ වේ. එහිදී වාචික හා ලිඛිත දේශන හරහා විමසුම සිදුවේ. එහෙත් පුරුද්දක් හැටියට වාචික දේශනවලට අවස්ථාව නොදී ලිඛිත දේශන හරහා පමණක් කටයුතු කෙරේ. සමහර අවස්ථාවල ස්ථානීය පරීක්ෂණ කළ ද එයද අත්‍යවශ්‍යය නම් පමණක් දැඩි ඉල්ලීම් මතම සිදුවේ.
මෙම පනත අනුව සමථය කළ හැකි නම් කළ යුතු යැයි නියමයක් ඇත. එහිදී එය නොකළේ නම් එය මහේස්ත‍්‍රාත්වරයාගේ වරදක් බව කියා සිටිය හැක. එමෙන්ම මෙම කාරණයට අදාලව දැන්වීමක් අධිකරණයේ රෙජිස්ටාර් තැනගේ අත්සනින් යුතුව ප‍්‍රශ්නගත දේපලේ ඇලවිය යුතුය. එය අවශ්‍යම කරැණකි. එමෙන්ම විමසුම අවසන් වී සතියකින් තීන්දුව දිය යුතු යැයි පනතේ ඇත. පනත අනුව මාස 3 කින් නඩුව අවසන් කළ යුතුය. මේවා හරියටම නොවන තැන් ඇත. නියෝගයක් කළවිට එය පිස්කල් හරහා පොලීසියේද සහය ඇතිව ක‍්‍රියාත්මක කෙරේ.
නඩුවට අවේ නැත්නම් හෝ ඇවිත් දිවුරුම් ප‍්‍රකාශ නොකළොත් හෝ නොදුනහොත් එම පාර්ශවය මග හැරිය පාර්ශවය සේ සලකා අනෙක් පාර්ශවයට භුක්තිය ලබා දේ.
වඩාත්ම වැදගත් කරුණ වන්නේ මෙම පැමිණිල්ලට මාස 2 කට පෙර සිට මෙම ඉඩමේ භුක්තියේ සිටි බව භුක්තිය ඉල්ලා සිටින පාර්ශවය ඔප්පු කළ යුතුය. බොහෝ විට සාමය කඩවීම හෝ සාමය කඩවීමට අත්‍යාසන්න බව මත නඩුව පවත්වාගෙන යා හැක. ඒත් එසේ සාමය කඩවූවා යැයි නිසැකවම ඔප්පු කළ යුතුය. නැත්නම් සාමය කඩ වීමක් නැත, නියෝගයක් නැත කියා නඩුව අවසන් වේ.
සාමය කඩවීම හෝ අත්‍යාසන්න බව පොලිස් පැමිණිලි ග‍්‍රාම සේවක පැමිණිලි හා වෙනත් සාක්ෂි හරහා ඔප්පු කළ යුතුය. මෙවැනි නඩුවක සුවිශේෂී නීති කරුණු පමණක් මත ප‍්‍රතිශෝධන කළ හැකි බව මා පවසන ලදී.
මේ සුවිශේෂී කරුණු ඉහත සටහන් කළ පනතේ බැලූ බැල්මට උල්ලංඝනය වන වගන්ති හා ඒ පනතේ ව්‍යවස්ථාදායකයේ අරමුණු උල්ලංඝනය වීම සලකා බැලීමේදී බොහෝ විට සාමය කඩවීමක් නැත කියා නඩුව නිශ්ප්‍රහා වන අවස්ථා ඇති අතර එවැනි අවස්ථාවලදී සාමය කඩවීමක් සිදුවීමට අත්‍යාසන්නතාවය ද 66 නඩුවකට වැදගත් කරුණක් බව නඩු තීන්ඳු මඟින් පෙන්වා දී ඇත. එවැනි ප‍්‍රතික්ෂේප කිරීමක් එවිට ප‍්‍රතිශෝධනය හරහා ඉවත් කරනු ලැබේ. එවිට එම නඩුව නැවත මහේස්ත‍්‍රාත් උසාවියට යවන අතර එහිදී එය නැවත සලකා බැලිය යුතුය. අයිතිය කා සතුවද යන්න වැදගත් නැත. භුක්තිය පමණි වැදගත්.
මේ ඉඩම් සම්බන්ධව 68 (3) යටතේ අතුරු තහනම් නියෝග ද ලබා ගත හැක. මෙයට අභියාචනා නැත. ප‍්‍රතිශෝධන පමණි. ප‍්‍රතිශෝධන කාලය තුළ කිසිවක් නැත. බොහෝ විට අතුරු නියෝග ගැනීම සිදුවේ. නැත්නම් එක් පාර්ශවයක් අගතියට පත්වේ. මේ පනතේ මේ ගැන අතිවිශාල නඩු තීන්දු ඇති නිසා නීතිය ඉතා මහත් සේ ප‍්‍රගමනය වී ඇත. 69 වගතිය බොහෝ දුරට කතා කරන්නේ ඉඩම නොවන මාර්ග වැනි කාරණා ගැනය. නැත්නම් වෙනත් අයිතිවාසිකම් ගැනය.
මේ ගැන කතා කරන විට ආගමික ස්ථානවල අයිතිය දෙවියන්ගේ වන නිසා එවැනි ස්ථානවල භාරකරුවන්ට හෝ දේවගැතිවරුන්ට හෝ මුරකරුවන්ට ඒ දේපලවල භුක්තිය ඉල්ලා නඩු පැවරිය හෝ හබ කිරීමට නොහැකි බව තීරණය වු නඩු තීන්දුවල සඳහන්ව ඇත. එමෙන්ම කුඹුරු ඉඩම් සඳහා ද මේ පනත භාවිතා කළ නොහැක. එහිදී ගොවිජන සේවා පනත එහිදී අදාල වේ.
මා සිතන ආකාරයට මෙහි අපැහැදිලි තැන් තවමත් ඇත. ඒව නඩු තීන්දු හරහා විකාශනය විය යුතුය. මෙය අර්ධ අපරාධ නඩුවක්ද අනුමිත භුක්තිය දැරීම වලංගු ද හා වෙනත් බොහෝ තැන ඉතා රසවත් ලෙස නඩු තීන්දු හරහා තීරණය වී ඇත. කෙටි සටහනක් නිසා මග හැරුණු තැන් ඇත. සංස්කරණය කළ පිටපත අඟහරුවාද හෝ බදාදා නිකුත් වනු ඇත. ප‍්‍රශ්න අහන්න. අදහස් කියන්න. දැනුම මටද දෙන්න. එවිට මෙය තවත් රසවත් කරමි.
නීතීඥ ලක්ෂාන් ඩයස්