October 4, 2022

සාමය පවත්වාගෙන යෑම: ෆාරිල් නඩුව පිළිබඳ අධ්‍යනයක්.

එම්.ජේ.එම්. ෆාරිල් සහ තවත් අය එදිරිව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව නඩුව, ශ්‍රී ලංකාවේ ආගම ඇදහීම හෝ විශ්වාස දැරීමේ නිදහස (FoRB) පිළිබඳ නීතිය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම සුළුතර කණ්ඩායම්වලට අදාළව මෙම නීතිය සම්බන්ධයෙන් වැදගත් වන නඩු තීන්දුවකි.

මෙම නඩුව පවරන ලද්දේ පානදුරයේ පිහිටි  වෑකඩ ජුම්මා පල්ලියේ භාරකාරත්ව මණ්ඩලයේ සභාපතිවරයා සහ අනාස් ඉබ්නු හිෆ්ලුල් කුරාන් මද්‍රසාවේ (ධර්ම පාසල) විදුහල්පතිවරයා විසිනි. අදාළ ආරවුල හටගන්නේ එම ප්‍රදේශයේ අළුතින් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධවයි. පෙත්සම්කරුවන් විසින් කරගෙන යමින් තිබූ ඉදිකිරීම් කටයුතු අත්හිටුවීම ඇතුළු කරුණු හේතුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12(1), 12(2) සහ 14(1)(ඊ) යන ව්‍යවස්ථා උල්ලංඝනය වන බවට ඔවුන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ පැමිණිලි කර තිබේ. මෙම පෙත්සම්කරුවන් විසින් එක්තරා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට එරෙහිව බෞද්ධ භික්ෂූන් සහ ප්‍රදේශවාසීන් විරෝධතාවල නිරත වී තිබේ. එම විරෝධතාකරුවන්ගේ චෝදනාව වූයේ පෙත්සම්කරුවන් අවසර ලබාගෙන තිබුණේ පාසලක් ඉදිකිරීමට පමණක් වුවත් දැන් ඔවුන් පල්ලියක් ඉදිකරමින් සිටින බවකි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ඉදිකිරීම් අත්හිටුවීමේ තීන්දුව තහවුරු කළේ ය.

ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස (FoRB) සම්බන්ධයෙන් පොදු නීතියේ පවතින පැහැදිලි ප්‍රවණතාවයක් මෙම ෆාරිල් නඩුවෙන් පිළිබිඹු වේ.

ප්‍රජාව තුළ ‘සාමය’ පවත්වාගෙන යෑමේ වෑයම සමගින් FoRB සම්බන්ධයෙන් වන අයිතිවාසිකම්, විශේෂයෙන්ම සුළුතර කණ්ඩායම්වල එම අයිතිවාසිකම් හානියට පත් කිරීමේ පැහැදිලි නැඹුරුතාවයක් ශ්‍රී ලංකාවේ FoRB නීති විද්‍යාව තුළ පිළිබිඹු වේ. ෆාරිල් නඩුව මීට හොඳ උදාහරණයක් වේ. මෙම නඩුවේදී, අනෙකුත් කරුණු අතර, අධිකරණය මෙසේ පවසා තිබේ:

‘ගම්වාසීන්, පදිංචිකරුවන් සහ බෞද්ධ භික්ෂූන් වෙනත් කාර්යයක් සඳහා තවදුරටත් කිසිම ඉදිකිරීමක් සිදුකිරීමට එරෙහිව තදින්ම විරෝධය දැක්වූහ. ජාතිභේදවාදී ප්‍රචණ්ඩත්වය හේතුවෙන් කාලයක් තිස්සේ මෙරට පීඩාවට පත් වී තිබේ. අතීතයේ සිදුවූ දෑ නැවත නැවතත් සිදුවන අතර, 1915 කෝලාහල අවස්ථාවේ සිදුවූයේ කුමක්දැයි විශ්ලේෂණය කර බැලුවහොත් පෙනෙන්නේ ජන කොටස් දෙකක් අතර ගැටුම් අර්ථ විරහිත දෙයක් වුවත් ප්‍රජාවේ එක්තරා කොටසක් තවමත් මේ පාඩම ඉගෙනගෙන නොමැති බවකි. එවකට ඇති වූ කෝලාහල හේතුවෙන් වටිනා ජීවිත සහ දේපළ අහිමි විය. අප රටේ එවැනි සිදුවීම් යළි යළිත් සිදුවේ. එසේහෙයින්, ප්‍රතිචාර දැක්වූ නිලධාරීන්ට සාමය කඩවීම් සිදුවීම වලක්වාගන්නට පියවර ගැනීමට සිදුව තිබේ.’ 

අධිකරණය තවදුරටත් මෙසේ සඳහන් කරයි: 

‘රටේ අනෙකුත් ප්‍රදේශවලටත් පැතිර යා හැකි අර්බුදකාරී තත්වයක් ඇතිවීම වලක්වාගන්නට කළයුත්ත සිදුකළ යුතුව තිබේ. වගඋත්තරකරුවන් විසින් පවරා ඇති නඩුවේ තත්වයන් තුළ තවත් හේතු ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ. ’

පෙත්සම්කරුවන්ට නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාවක් ලැබීම අහිමි කරවා ඇති බවක් තීන්දු කළ නොහැකි බව අධිකරණයේ තීරණය විය.

තවත් කරුණු ද ඇතුළුව, ධර්ම පාසල් ඉදිකිරීමේදී ඒ සඳහා ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබාගත යුතුයැයි නියම කෙරෙන චක්‍රලේඛය අධිකරණයෙන් තවදුරටත් තහවුරු කරන ලදී:

P14 යනුවෙන් සළකුණු කළ ලිපිය හරහා තෙවන වගඋත්තරකරු, නව ගොඩනැගිල්ල ඉදිකිරීමට ආගමික කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන නොමැති හෙයින් එහි ඉදිකිරීම් කටයුතු නවත්වන මෙන් පළමු පෙත්සම්කරු වෙත නියම කර තිබේ. P14 යනුවෙන් සලකුණු කළ ලිපියේ තෙවන වගඋත්තරකරු MBRA/2-SAD/10/Con.Gen/2013  අංක දරන චක්‍රලේඛය පිළිබඳව සඳහන් කර ඇත. එකී චක්‍රලේඛය 3A R4 (e) වශයෙන් තෙවන වග උත්තරකරු විසින් ඉදිරිපත් කර ඇත. එකී 3A R4 (e) චක්‍රලේඛයට අනුව, ධර්ම පාසලක් ඉදිකරන ඕනෑම අයෙක්, ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබාගත යුතු ය. පෙත්සම්කරුවන් ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබාගෙන නැත. මෙම චක්‍රලේඛය, නීතියේ අර්ථ නිරූපණය තුළට ඇතුළත් නොවන බවට පෙත්සම්කරු නියෝජනය කරන උගත් ජනාධිපති නීතීඥවරයා තර්ක කළේය. දැන් මම එකී තර්කයට ප්‍රතිචාර දක්වමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාවෙහි එන “නීතිය” තුළ රාජ්‍ය අධිකාරීන්හි හැසිරීම නියාමනය කරන්නට සකස් කෙරුනු රෙගුලාසි, රීති, නියම, මූලධර්ම, මාර්ගෝපදේශ සහ පරිපාටි ඇතුළත් වී තිබේ. ඒ පසුබිම තුළ, 12 වැනි ව්‍යවස්ථාව හුදෙක් පුද්ගලික හැසිරීම්වලට එරෙහිව ආරක්ෂාවක් නිර්මාණය නොකරන අතරම, රාජ්‍ය අධිකාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති දෑ සඳහා, විශේෂයෙන්ම ගිවිසුම් නැමැති ක්ෂේත්‍රයේ පවා ඔවුන් 12 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති දෑ සඳහා අනුකූල විය යුතුය. එසේ ගිවිසුම් උල්ලංඝනයක් සිදුවී ඇතිවිට සහ එකී කරුණු සහ වාතාවරණයන් මගින් 12 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනයක් ද සිදුවී ඇතිවිට, අගතියට පත් පාර්ශවයට ලබාදෙන ප්‍රතිකර්මය ගිවිසුම් නීතිය යටතේ පමණක් ලබාදීමට සීමාකළ නොහැකි ය. මා ඉහත අධිකරණ තීන්දුව සලකා බලන කල, ඉහත කී තර්කයට මට එකඟ විය නොහැක. එනිසා මම එය ප්‍රතික්ෂේප කරමි. යෝජිත ධර්ම පාසල ඉදිකිරීම සඳහා පෙත්සම්කරුවන් විසින් ආගමික කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන නොමැති හෙයින් P14 හි තුන්වන වගඋත්තරකරු විසින් ගෙන ඇති ස්ථාවරය නිවැරදි වේ. එබැවින්, P14 ශුන්‍ය සහ බලරහිත බව ප්‍රකාශ කරනමෙන් කර ඇති අයැදුම ප්‍රතික්ෂේප කළයුතු වේ.

තවත් බොහෝ නඩුවල මෙන් ම මෙම නඩුවේ දී ද, බහුතර ප්‍රජාව විසින් තවත් කණ්ඩායමක නීත්‍යානුකූල අයිතීන්ට බාධා නොකෙරෙන බව සහතික කරගැනීම වෙනුවට, සාමය කඩවීම වැලැක්වීම සඳහා සුළුතර කණ්ඩායමේ ක්‍රියාකාරකම අත්හිටුවීම සඳහා ගත් තීන්දුව නිවැරදි යැයි අධිකරණයෙන් තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකාවේ පහළ අධිකරණවල ද මෙම නැඹුරුව ම පිළිබිඹු වනු දැකගත හැකිය. එම්. ෂෙල්ටන් ජයවීර එදිරිව මංචනායක කැළුම් නිශාන්ත මංචනායක සහ තවත් අය නඩුවේ දී වග උත්තරකාර-පෙත්සම්කරුගේ ආගමික සභාව රැස්වීමෙන් එම ප්‍රදේශයට කරදරයක් ඇතිවන බව කියා සිටිමින් එම සභාව රැස්වීම තාවකාලිකව අත්හිටුවීමට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගත් තීන්දුව මහාධිකරණයෙන් තහවුරු කරන ලදී. වග උත්තරකාර-පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් අන්‍යයින්ට කරදරයක් වන සේ ක්‍රියාත්මක කරන්නට නොහැකි බව ද අධිකරණයෙන් තවදුරටත් තීන්දු කරන ලදී. අදාළ අතුරු නියෝගය ලබා දීමේ අරමුණ වී ඇත්තේ වග උත්තරකාර-පෙත්සම්කරුගේ ආගමික නිදහසට බාධා කිරීමට නොව, ‘අර්බුදකාරී තත්වයක්’ මගහරවාගැනීමට බව අධිකරණයේ තීන්දුව විය. මෙහිදී අධිකරණය සඳහන් කරන ඒ ‘අර්බුධකාරී තත්වය’ වග උත්තරකාර-පෙත්සම්කරුගේ ආගමික හැසිරීමෙන් සෘජුවම නිර්මාණය කරන ලද්දක් නොව ඊට ප්‍රතිචාර වශයෙන් ප්‍රදේශයේ අන්‍යයින් විසින් නිර්මාණය කරන ලද්දක් වීම සුවිශේෂී වේ.

බඩල්ගම විපුලසිරි හිමියන් සහ තවත් අය එදිරිව කුප්පුස්වාමි විජයන් සහ නද්කුනම්  මනෝගරන් නඩුවේ දී, බෞද්ධ භික්ෂුවක් ඇතුළු ප්‍රදේශවාසීන් දේවස්ථානයක් හේතුවෙන් සිදුවන ‘මහජන පීඩාවක්’ පිළිබඳව පැමිණිලි කර තිබුණි. අදාළ දේවස්ථානයෙන් සිදුකෙරෙන කටයුතු හේතුවෙන් ප්‍රදේශයේ ශබ්ද දූෂණය වශයෙන් සැලකෙන තත්වයක් උද්ගත වන හෙයින් තවදුරටත් පල්ලියේ කටයුතු කරගෙන යෑම තහනම් කරමින් දේවස්ථානයට එරෙහිව අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 104(1) වගන්තිය යටතේ විමර්ශනයක් සිදුකෙරෙන තුරු අතුරු නියෝගයක් අධිකරණය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, විමර්ශනයක් සිදුකෙරෙනතුරු තවදුරටත් දේවස්ථානයේ ක්‍රියාකාරකම් කරගෙන යෑම තහනම් කරමින් අතුරු නියෝගයක්  එම ක්‍රිස්තියානි පවුල් දේවස්ථානයට නිකුත් කර තිබේ.

අයිතිවාසිකම් සීමාකිරීම සඳහා නිර්ණායක මාලාවක් 

ඇතැම් අවස්ථාවල යම් ගැටළුවක් සම්බන්ධයෙන් ප්‍රබල මහජන මතයක් පවතිද්දී, එවන් පසුබිමක ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහසට, විශේෂයෙන්ම සුළුතර කණ්ඩායම්වල ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහසට ගරු කිරීම සම්බන්ධයෙන් පවතින පරස්පර විරෝධි ප්‍රවේශ බිජෝ එම්මානුවෙල් සහ තවත් අය එදිරිව කේරළ ප්‍රාන්තය සහ තවත් අය (Bijoe Emmanuel & Others vs State of Kerala & Others) නඩුවෙන් පැහැදිලි වේ. මේ නඩුවේ අභියාචනාකරුගේ යොහෝවාගේ සාක්ෂිකරු ආගමට අයත් දරුවන් තිදෙනා පාසලේදී ඉන්දියාවේ ජාතික ගීය ගැයීම ප්‍රතික්ෂේප කළ හෙයින් ඔවුන් එම පාසලෙන් නෙරපා තිබේ. එම දරුවන් කියා ඇත්තේ ජාතික ගීය ගායනා කිරීම ඔවුන්ගේ ආගමික ප්‍රතිපත්තිවලට පටහැනි බවකි. මෙහිදී අධිකරණයේ තීරණය වූයේ පාසලින් නෙරපීම ඔවුන්ගේ හෘදසාක්ෂියේ නිදහස ද  නිදහසේ තමන්ගේ ආගම ප්‍රකාශනයට, ප්‍රගුණ කිරීමට සහ ප්‍රචාරයට ඔවුන්ට තිබෙන අයිතිය ද යන මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවකි. තවදුරටත් අධිකරණය මෙසේ සඳහන් කර තිබේ: 

 ‘25(1) වගන්තියෙන් සහතික කර ඇති අයිතීන් එම වගන්තිය විසින්ම මහජන සාමය, සදාචාරය සහ සෞඛ්‍යය සහ III කොටසේ අනෙකුත් විධිවිධාන සඳහා පැහැදිලිවම යටත් කරයි. අනෙක් අතට, ආගමික පිළිවෙත් සමඟ සම්බන්ධ විය හැකි ආර්ථික, මූල්‍ය, දේශපාලන හෝ වෙනත් අනාගමික ක්‍රියාකාරකම් නියාමනය කිරීමට හෝ සීමා කිරීමට, හෝ එවැනි නියාමනයක් සීමාකිරීමක් හෝ ප්‍රතිපාදනයක්  හරහා 25(1) මගින් සහතික කර ඇති අයිතියට බලපෑමක් ඇති වුවත් සමාජ සුබසාධනය සහ ප්‍රතිසංස්කරණ සඳහා විධිවිධාන සලසා දීමට නීතියක් සෑදීමේ නිදහස රජයට ලබා දී ඇත. එබැවින් හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගම ප්‍රකාශ කිරීමට, පිළිපැදීමට සහ ප්‍රචාරණය කිරීමට ඇති මූලික අයිතිවාසිකම ඉල්ලා සිටින සෑම අවස්ථාවකම, මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් ලෙස පැමිණිලි කරන ලද ක්‍රියාව මහජන සාමය, සදාචාරය සහ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සිදුකරනු ලබන ක්‍රියාවක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III කොටසේ අනෙකුත් විධිවිධාන බලාත්මක කිරීම හෝ ආගමික පිළිවෙත් හා සම්බන්ධ විය හැකි කිසියම් ආර්ථික, මූල්‍ය දේශපාලන හෝ ලෞකික ක්‍රියාකාරකම් නියාමනය කිරීමට හෝ සීමා කිරීමට හෝ සමාජ සුබසාධනය සහ ප්‍රතිසංස්කරණ සඳහා සම්පාදනය කිරීමට සම්පාදනය කරන ලද නීතියක් මගින් බලය ලබා දී තිබෙන ක්‍රියාවක් දැයි සොයා බැලීම සඳහා විමසා බැලිය යුතුය.

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවදුරටත් සඳහන් කර ඇති අන්දමට ‘මෙහිදී ප්‍රශ්නය නම් යම්කිසි ආගමික විශ්වාසයක් හෝ ව්‍යවහාරයක් අපගේ තර්ක බුද්ධියට හෝ හැඟීම්වලට ආකර්ෂණීය වන්නේ ද නැති ද යන්න නොව, එම ආගම ප්‍රකාශ කිරීමේ හෝ ප්‍රගුණ කිරීමේ කොටසක් වශයෙන් අව්‍යාජව සහ හෘදසාක්ෂියට අනුකූලව එම විශ්වාසය පිළිගෙන තිබේද යන්නයි. පුද්ගලික මතවාද සහ ප්‍රතිචාර ඊට අදාළ නොවේ. එම විශ්වාසය අව්‍යාජව සහ හෘදසාක්ෂියට එකඟව පිළිගෙන ඇත්නම් ඊට 25 වගන්තියෙන් ලබාදෙන ආරක්ෂාව හිමිවන අතර, එසේම, එම වගන්තියේ ඇතුළත් සීමාකිරීම්වලට ද එය විෂයය වේ. ’

මහජන පීඩා සම්බන්ධ වන අනෙකුත් ඕනෑම අවස්ථාවක දී මෙන්ම, ආගමික කණ්ඩායම්වල ක්‍රියාකාරකම් සලකා බැලීමේදී ද එය අදාළ ක්‍රියාකාරකම සම්බන්ධයෙන් කෙරෙන විෂයයමූලක ඇගැයුමක් මත සහ අන්‍යයින්ගේ නිදහස හා අයිතීන් උල්ලංඝනය කිරීමක් වශයෙන් යුක්තිසහගත අන්දමින් සලකන්නට හැකි දැයි යන්න මත පදනම් විය යුතුය.

උදාහරණයක් වශයෙන්, Church of God (Full Gospel) in India v K.K.R.M.C Welfare Association නඩුවේ දී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ආගමික ක්‍රියාකාරකමකින් උත්පාදනය වන ශබ්දයක් වුවද, ශබ්ද දූෂණය පාලනය කිරීම සඳහා නිකුත්කරන නියෝගයකට නතුකළ හැකි බවයි. එහිදී අධිකරණය මෙසේ සඳහන් කර තිබිණි,

‘මෙම අභියාචනයට අදාළ වන ප්‍රශ්න, බහුවිධ ආගම් සහ අනේකවිධ වූ ප්‍රජාවන් හෝ නිකායන් සහිත රටක, යම් ප්‍රජාවකට හෝ එම ප්‍රජාවට අයත් යම් නිකායකට ආගම හේතුවක් වශයෙන් දක්වමින් ශබ්ද දූෂණය කිරීම සඳහා අයිතිය ඉල්ලා සිටිය හැකිද යන්න සම්බන්ධයෙන් පැන නැගී තිබේ. අසල්වාසී පරිසරයේ සන්සුන්කම හෝ සාමයට බාධා වන අන්දමින් බෙර වාදනය කිරීම හෝ, යාතිකා ගැයීමට හෝ මයික්‍රෆෝන හා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට අවසර දියහැකිද? අන්‍යයින්ගේ සාමයට බාධාවන අන්දමින් යාඥා ගායනා කළ යුතු යැයි කිසිම ආගමක නියම කර නොමැතිබව පැහැදිලි ය, එසේම, යාඥා කළයුත්තේ ශබ්දය වැඩිකර දක්වන උපකරණ  හෝ බෙර වාදනය සමගින් යැයි ද දේශනා වී නොමැත. අපේ අදහසේ හැටියට, ශිෂ්ටාරවත් සමාජයක, පාන්දර වරුවේ හෝ දිවාකල නින්දේ පසුවන වයස්ගත හෝ අසනීපයෙන් පසුවන අයට, ශිෂ්‍යයින් හෝ ළදරුවන්ට, හෝ වෙනත් ක්‍රියාකාරකම් කරන පුද්ගලයින්ට බාධා කෙරෙන අන්දමේ ක්‍රියාකාරකම් ආගමේ නාමයෙන් සිදුකිරීම  සඳහා අවසර දිය නොහැකිය. සාමකාමී වාතාවරණයක් තුළ නිදාගැනීමේ ස්වභාවික අයිතිය භුක්ති විඳීමට අසල්වැසි කුඩා ළදරුවන්ට ද හිමිකම් ඇති බව අමතක නොකළ යුතු ය. තම විභාගයට සූදානම් වන ශිෂ්‍යයෙකුට අසල්වාසීන්ගෙන් අනවශ්‍ය කරදරයකින් තොරව තම අධ්‍යයන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට අයිතියක් ඇත. ඒ හා සමානව, මහලු සහ ආබාධිත පුද්ගලයින්ට ඔවුන්ගේ විවේක කාලය තුළ ශබ්ද දූෂණයෙන් කිසිදු කරදරයකින් තොරව සාධාරණ නිශ්ශබ්දතාවයක් භුක්ති විඳීමට අයිතියක් ඇත. වයෝවෘද්ධ, ​​අසනීප, මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයින් මෙන්ම වයස අවුරුදු 6 දක්වා ළමුන් ශබ්දයට ඉතා සංවේදී අය ලෙස සැලකේ. ඔවුන්ගේ අයිතීන් ද ගරු කළ යුතුය…

…(ඉන්දියානු) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19(1)(අ) වගන්තිය සමඟ කියවන 25(1) ව්‍යවස්ථාවේ නියම සහ නිසි අර්ථය අනුව, පුරවැසියෙකුට තමා අකමැති හෝ තමන්ට අවශ්‍ය නොවන ඕනෑම දෙයක් ඇසීමට බල කළ යුතු යැයි පැවසිය නොහැක… කෙනෙකුගේ අයිතිවාසිකම් භුක්ති විඳීම, අන් අය විසින් ද අයිතිවාසිකම් භුක්ති විඳීමට අනුකූල විය යුතුය. සමාජ බලවේගවල නිදහස් ක්‍රියාකාරීත්වය තුළ ස්වේච්ඡා සංහිඳියාවක් ඇති කිරීමට නොහැකි වූ විට, තරඟකාරී අවශ්‍යතා අතර අසමතුලිතතාවය නිවැරදි කිරීමට රජය මැදිහත් විය යුතුය. ’ 

අයිතිවාසිකම් මත සීමා පැනවීමේදී, විශේෂයෙන්ම එම සීමාකිරීම් ‘මහජන සාමය’ හෝ ‘මහජන සෞඛ්‍ය හෝ සදාචාරය’ වැනි නොපැහැදිලි වියහැකි ලැදියාවන් මත පදනම් වී පැනවීමේදී, ඒ සඳහා දැඩි නිර්ණායක තිබීමේ අවශ්‍යතාවය ඉතා පැහැදිලි ය. විශේෂයෙන්ම, ඉහත සාකච්ඡා කළ අවස්ථා වැනි දේශපාලන වශයෙන් තැකීමක් ඇති කරුණු සම්බන්ධ වන අවස්ථාවලදී මෙය පැහැදිලි වේ. යම් සීමාකිරීමකට අවසර දියහැකි ද යන්න තක්සේරු කිරීම සඳහා අධිකරණ සහ සන්ධාන ආයතන බොහෝවිට යොදාගන්නේ ප්‍රමාණානුපාතිකතා පරීක්ෂාවයි (proportionality test) (උදා: Eweida and Others v United Kingdom.). යම් සීමාකිරීමක ප්‍රමාණානුපාතිකතාවය තීරණය කිරීමේදී සාමාන්‍යයෙන් යොදාගන්නා නිර්ණායක නම්: 1) එය නීතියෙන් නියම කර තිබිය යුතු වීම; 2) ඉන් නිත්‍යානුකූල අරමුණක් ආරක්ෂා කරදීම; 3) ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එසේ කිරීම අවශ්‍ය වීම; 4) එය ප්‍රමාණානුකූල වීම, එනම්, ඉන් ලැබෙන ප්‍රතිලාභ අදාළ පාර්ශවයට ඉන් වන හානියට වඩා වැඩි වීම යන ඒවායි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව වෙනස්කොට නොසැලකීමේ මූලධර්මය (උදා: Sonia Yaker v France, Miriana Hebbadj v France) වැනි තවත් සම්මත සීමාකිරීම් මීට අදාළ කර තිබේ. එවන් නිර්ණායක සහ ඉහත නඩුවලදී සලකා බැලූ සීමාකිරීම් වැනි ඒවා අදාළ කරගැනීම හරහා, FORB මත පනවනු ලබන සීමාකිරීම්, හුදෙක් බහුතරවාදී ලැදියාවන් ඉදිරියට ගෙනයාමට නොව ඒවා නීත්‍යානුකූල වනවිට පිළිගන්නා බව සහතික කරනු ඇත.

ප්‍රජාවන් අතර සාමකාමී සබඳතා පවත්වාගෙන යාම රාජ්‍ය නිලධාරීන් විසින් තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි වැදගත් සාධකයක් ලෙස සැලකිල්ලට ගතයුතු කරුණක් බවට විවාදයක් නැත. කෙසේ වෙතත්, සියලු ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම මේ සඳහා තීරණාත්මක පූර්ව අවශ්‍යතාවයක් බව හඳුනා ගැනීම ද එකසේ වැදගත් ය. මේ රටේ ඉතිහාසය නැවත නැවතත් පෙන්වා දී ඇති පරිදි, බහුතරය සතුටු කිරීම සඳහා සුළු ජාතික කණ්ඩායම්වල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඉඩ දීම, දීර්ඝ කාලීන ප්‍රශ්නයකට කෙටි කාලීන විසඳුමක් වන අතර, ඉන් දිගු කලක් සාමය පවත්වා ගැනීමට නොහැකි වනු ඇත.

Tagged with: