තමන් කැමති ආගමක් ඇදහීමේ හෝ වැළඳගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ, හෘද සාක්ෂියේ, සහ ආගමික නිදහස ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කිසිම වාතාවරණයක් යටතේ මේවා සීමා කිරීමට නොහැකි ය.
කෙසේනමුත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඉ) යටතේ ආගමක් හෝ විශ්වාසයක් ප්‍රකාශ කිරීමට ඇති නිදහස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(7) ව්‍යවස්ථාවේ සඳහහ්න් කොන්දේසි යටතේ සීමා කිරීමට හැකි ය.
15(7) ව්‍යවස්ථාවෙන් මෙසේ විධිවිධාන සලසා තිබේ: ‛12, 13(1), 13(2) සහ 14 වැනි ව්‍යවස්ථාවලින් ප්‍රකාශ කොට පිළිගෙන ඇති සියළුම මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද ක්‍රියාත්මක විය හැක්කේ ද රාජ්‍ය ආරක්ෂාව ද රටේ යථා පැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් සහ නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලාගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුභසාධනය සඳහා යුක්තිසහගතව අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම් වලට යටත්ව ය.මෙම අනුව්‍යවස්ථාවේ කාර්යය සඳහා “නීතිය” යන්නට මහජන ආරක්ෂාව පිළිබඳව තත් කාලයේ අදාළ වන නීතිය යටතේ සාදන ලද නියෝග ද ඇතුළත් වන්නේ ය.’
එබැවින්, එසේ කිරීම සඳහා නීතියෙන් නියම කොට ඇතිනම්, සහ එම සීමා කිරීම් 15(7) ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති අරමුණුවලින් එකක් සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් පනවන්නේ නම්, ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහසට සීමාවක් පැනවිය හැකිය.
තාවනීදන් එ. දයානන්ද දිසානායක [2003] 1 Sri.L.R. 74 (පි. 97-98) නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇති අන්දමට ‛ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(7) ව්‍යවස්ථාවේ දැක්වෙන කාර්යය සඳහා ‘නීතිය’ යන්නට මහජන ආරක්ෂක ආඥාපනත යටතේ සෑදූ රෙගුලාසි හැර වෙනත් රෙගුලාසි ඇතුළත් නොවේ.’ එහි අදහස නම්, මෙම සීමාකිරීම් පැනවිය හැක්කේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා පනතකින් හෝ මහජන ආරක්ෂක ආඥාපනත යටතේ නිකුත් කරන හදිසි අවස්ථා රෙගුලාසි යටතේ පමණි.
තවද, 15(7) ව්‍යවස්ථාව යටතේ පනවන සියළුම සීමාකිරීම් සාධාරණ විය යුතු ය. වික්‍රමබන්දු එ. හේරත් සහ තවත් අය [1990] 2 Sri.L.R. 348 (පි. 359) නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළ අන්දමට ‛සීමා කිරීම් පැහැදිලිවම අසාධාරණ වන්නේ නම් ඒවා 15(7) ව්‍යවස්ථාව යටතේ ලබාදුන් බලයෙන් අපේක්ෂිත විෂයයපථය තුළට ඇතුළත් වන බවක් සැලකිය නොහැකිය. ’