ගෙහාන් ගුණතිලක
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ‘ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස’ (FoRB) සඳහා ඇති අයිතිය පිළිගෙන තිබේ. 10 වැනි ව්‍යවස්ථාව යටතේ සිතීමේ, හෘද සාක්ෂියේ, සහ ආගමික නිදහස එමගින් සහතික කර තිබේ. FoRB හි මෙම අංගය ‘පරම’ අයිතියක් වශයෙන් සලකන අතර කිසිදු වාතාවරණයක් යටතේ මෙය සීමා කිරීමට නොහැකි ය. සැබැවින්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙම 10 වැනි ව්‍යවස්ථාව ආරක්ෂිත විධිවිධානයක් වශයෙන් නම් කර තිබේ; එනම්, එය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමතවිචාරණයක් හරහා ජනතාව විසින් පමණි. එහෙත්, FoRB හි සෑම අංගයක්ම මෙසේ සීමාකිරීම්වලින් ආරක්ෂා වී නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඉ) ව්‍යවස්ථාවෙන් තමන්ගේ ආගම හෝ විශ්වාසය ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනම ම සහතික කර දී තිබේ. වන්දනාව, ප්‍රගුණ කිරීම, පිළිපැදීම සහ ඉගැන්වීම හරහා තමන්ගේ ආගම බාහිරව ප්‍රකාශකරන මෙම FoRB අංගය යම් යම් හේතු පදනම් කරගනිමින් සීමා කිරීමට හැකිය.
ශ්‍රී ලංකාවේ FoRB සම්බන්ධයෙන් පවතින නීතිය සහ ප්‍රායෝගික භාවිතයේ පවත්නා තත්වය මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ. එසේම, මහජනයාගේ යහපත තකා පාවිච්චි කිරීම සඳහා පමණක් ආගමික නිදහස සම්බන්ධ සීමාකිරීම් පැවතියත්, බොහෝ අවස්ථාවලදී ඒවා බහුතරවාදී අරමුණු සඳහා යොදාගන්නා බව මෙයින් තර්ක කෙරේ.
ආගමික නිදහස සීමාකිරීම සම්බන්ධයෙන් වන නීතිය
FoRB සීමාකිරීම සම්බන්ධයෙන් වර්තමානයේ බලපැවැත්වෙන නීතියට අනුව, සියළුම සීමාකිරීම් සිදුකිරීමට නම් එක්තරා නෛතික පරීක්ෂණයක් තෘප්තිමත් කළ යුතුය. එම පරීක්ෂණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(7) ව්‍යවස්ථාවේ සහ සීමාකිරීම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිමීමංසාවේ දක්වා තිබේ.
මෙකී පරීක්ෂණයේ පළමු අංගය නම්, අදාළ සීමාකිරීම ‘නීතියෙන් නියම කර තිබිය යුතු’ වීමයි. මෙම පළමු අංගය සම්බන්ධයෙන් මතවාදීමය කරුණු දෙකක් පැහැදිලි කර දිය යුතුව තිබේ. මුලින්ම 15(7) ව්‍යවස්ථාවේ කාර්යයන් සඳහා ‘නීතිය’ නිර්වචනය කර ඇත්තේ පටු ලෙසින් වන අතර මෙහිදී නීතිය යන්නට ඇතුළත් වන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන පනත් සහ 1947 මහජන ආරක්ෂක ආඥාපනත (PSO) යටතේ නිකුත් කරන හදිසි අවස්ථා රෙගුලාසි වේ. මින් අදහස් වන්නේ මූලික නිදහස සීමා කළ හැක්කේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත් හෝ, අවම වශයෙන් පාර්ලිමේන්තුවේ සලකාබැලීමට ලක්වන නීතිමය මෙවලම් හරහා පමණක් වන බවයි. තාවනීදන් එ. දයානන්ද දිසානායක (2003) නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය මෙය පැහැදිලි කර දෙන අතර, PSO යටතේ නිකුත් කරන රෙගුලාසි හැර වෙනත් ඒවා හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(7) ව්‍යවස්ථාව ප්‍රකාරව මූලික නිදහස සීමා කළ නොහැකි බව එහිදී අධිකරණය පෙන්වා දෙන ලදී. දෙවැනි කරුණ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වැනි ව්‍යවස්ථාවෙන් මෙසේ විධිවිධාන සලසා තිබේ: ‘පවත්නා ලිඛිත සහ ලිඛිත නොවූ නීති අතුරින් යම්කිසි නීතියක් [මූලික අයිතිවාසිකම්වලට] අනුකූල නොවූවද එකී සියළු පවත්නා ලිඛිත නීති සහ ලිඛිත නොවූ නීති බලාත්මකව ක්‍රියාත්මක වන්නේය.’ එනම්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට පෙරාතුව පැවති නීති මූලික අයිතිවාසිකම් සමගින් අනනුකූල වුවත් ඒවා මෙම විධිවිධානයෙන් වලංගු කරවා තිබේ. FoRB සීමාකිරීම සඳහා යොදාගන්නා බොහෝ නීති බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ පනවන ලද නීති වන අතර, එකී නීති දිගින්දිගටම වලංගු වීම සඳහා එක් හේතුවක් වී ඇත්තේ මෙකී 16 වැනි ව්‍යවස්ථාවයි. උදාහරණයක් වශයෙන් 1865 පොලිස් ආඥාපනතේ 77 වැනි වගන්තියෙන් ‘මහජන සාමය’ උදෙසා ආගමික පෙරහැර සීමා කිරීම සඳහා බලය ලබාදී තිබේ. එසේම, 1897 නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥාපනත යටතේ, බෝවන රෝග පැතිරයාම වැලැක්වීම සඳහා ඔබමොබ යෑම සහ ගමන්බිමන් (ආගමික සිදුවීම්වලට සහභාගිවීම ද ඇතුළුව) නියාමනය කිරීම සඳහා රෙගුලාසි සෑදීමට සෞඛ්‍ය විෂයය භාර අමාත්‍යවරයාට බලය ලබාදී තිබේ.
නීතිමය පරීක්ෂාවේ දෙවැනි අංගය නම්, FoRB මත යම් සීමාකිරීමක් පනවන්නේ නම් එය නිශ්චිත හේතු පදනම් කරගෙන සිදුකළ යුතු බවයි. ‘ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ මහජන සෞඛ්‍ය හෝ සදාචාරය සඳහා; හෝ අන්‍යයින්ගේ අයිතිවාසිකම් සහ නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට ගරු කරන බවට වගබලාගැනීම සඳහා; හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුභසාධනය සඳහා යුක්තිසගතව අවශ්‍ය දෑ සපුරාලීම සඳහා’ FoRB සීමා කළ හැකි බව 15(7) ව්‍යවස්ථාවේ සඳහන් කර තිබේ. මෙකී හේතු පැහැදිලිවම පුළුල් ඒවා වන අතර පුළුල් පරාසයක මහජන ලැදියාවන් ඊට ඇතුළත් විය හැකිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(7) ව්‍යවස්ථාවෙහි සීමාකිරීම් සඳහා යොදාගත හැකි හේතු ඉතා පුළුල් ලෙස ඉදිරිපත් කර ඇතත්, තුන්වන අංගයෙන් FoRB සීමාකිරීමට රාජ්‍යයට ඇති බලය තවදුරටත් සීමා කිරීමට ලක් කරයි. මූලික අයිතිවාසිකම් මත සීමා කිරීම් පැනවීමේදී ඒවා සාධාරණබවේ ප්‍රමිතිය සපුරාලිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය වෙනම පිළිගැනීමට ලක් කර තිබේ. වික්‍රමබන්දු එ. හේරත් නඩුවේදී අධිකරණය සඳහන් කළේ ‘සීමා කිරීම් පැහැදිලිවම අසාධාරණ යැයි සෑහීමකට පත්වියහැකි නම්, 15(7) ව්‍යවස්ථාවෙන් ලබාදීමට අපේක්ෂිත බලයේ විෂයයපථයට එය ඇතුළත් යැයි සැලකිය නොහැකි’ බවයි. එබැවින්, FoRB මත පනවන යම්කිසි සීමා කිරීමක් අසාධාරණ නම් එම සීමාකිරීම සඳහා අවසර දිය නොහැකි බව ප්‍රකාශ කිරීමට අධිකරණයට බලය තිබේ.
ප්‍රායෝගික භාවිතයේදී සීමාකිරීම්
නීති පාඨ සහ ඇතැම් ප්‍රගතිශීලී නීතිමීමංසා හරහා සීමාකිරීම් සම්බන්ධයෙන් සෑහෙන තරමකට දැඩි නීති පරීක්ෂාවක් නියම කර ඇතත්, ප්‍රායෝගික භාවිතයේදී බහුතරවාදී කාර්යයන් සඳහා මෙම සීමාකිරීම් අවභාවිතා කිරීමට රාජ්‍යය පෙළඹී තිබේ. ආගමික ඇඳුම්, ආගමික චාරිත්‍ර, සහ ආගමික වන්දනාමය හා ඉගැන්වීමේ ස්ථාන ඉදිකිරීම සම්බන්ධයෙන් සීමා කිරීම් පනවා ඇති අන්දම දෙස බැලූ කල එවන් අවභාවිත හඳුනාගත හැකිය. මේ සෑම සිදුවීමක දී ම, අදාළ සීමා කිරීම හරහා සුළුතර ආගමික කණ්ඩායමකට වෙනස්කොට සලකනසුළු බලපෑමක් ඇති වී තිබේ. තවද, මේ සෑම සිදුවීමක දී ම අදාළ සීමා කිරීම අසාධාරණ වන බවක් හඳුනාගැනීමට අධිකරණය නොකැමති වී තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරවලින් වැඩි කල් යෑමට මත්තෙන්, 2019 අප්‍රේල් 29 වැනි දින ආණ්ඩුව PSO යටතේ 32A රෙගුලාසිය නිකුත් කරන ලදී. ‘පුද්ගලයෙකු හඳුනා ගැනීමට කිසිම අයුරකින් බාධාවක් වන පරිදි සම්පූර්ණ මුහුණ සඟවන කිසිදු ඇඟළුමක්, ඇඳුමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් කිසිදු තැනැත්තෙකු විසින් කිසිදු පොදු ස්ථානයක නොඇඳිය යුතුය’ යනුවෙන් එහි නියම කොට තිබුණි. ‘සම්පූර්ණ මුහුණ’ යන්නෙන් ‘දෙකන් ඇතුළුව පුද්ගලයාගේ මුළු මුහුණම’ අදහස් වන බවට එම විධිවිධානයේ පැහැදිලි කිරීමක් ද ඇතුළත් විය. බැලූ බැල්මට මධ්‍යස්ථ බවක් පෙනෙන මෙම නීතියෙන් මුස්ලිම් කාන්තාවන්ට වෙනස්කොට සලකනසුළු බලපෑමක් ඇති විය. ඇතැම් මුස්ලිම් කාන්තාවන් අඳිනු ලබන, සම්පූර්ණ මුහුණ ම ආවරණය වන නිකාබය ප්‍රසිද්ධ ස්ථානවල ඇඳීම මේ නීතිය පැනවීමෙන් පසුව තහනම් විය. හදිසි නීති රෙගුලාසි අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභා කිරීමත් සමගින් මෙම සීමා කිරීම ආරක්ෂා විය. මෙම සීමා කිරීමේහි වෙනස්කොට සලකනසුළු සහ පූර්ව විනිශ්චයමය ස්වභාවය ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු අහමඩ් ෂහීඩ් විසින් ද නිරීක්ෂණය කරන ලදී. හිස ආවරණය වුවත් මුහුණ ආවරණය නොවන හිජාබය ඇඳ සිටි මුස්ලිම් කාන්තාවන් සහ ගැහැණු ළමුන් පවා රෝහල්වලට සහ විභාග ශාලාවලට ඇතුළත්වීමෙන් වලක්වනු ලැබූ බවත් ඔවුන් සේවාස්ථානවලදී වාචික අපයෝජනයට ලක් වූ බවත් ඔහු වාර්තා කරන ලදී.
කෝවිඩ්-19 තත්වයත් සමගින් මුස්ලිම් සහ ක්‍රිස්තියානි භූමදාන ස්ථාන මත පනවන ලද සීමාකිරීම FoRB මත පැනවූ අසාධාරණ සීමා කිරීමකට තවත් උදාහරණයකි. 2020 අප්‍රේල් 11 වැනි දින සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා 1897 නිරෝධායන ආඥාපනත යටතේ 61A රෙගුලාසිය නිකුත් කළේය. ‘2019 කොරෝනා වෛරස රෝගය (කෝවිඩ්-19) වැළඳී මරණයට පත් වූ හෝ එසේ මරණයට පත් වූයේ යැයි සැක කරන පුද්ගලයින්ගේ මලසිරුරු ආදාහනය කෙරෙනු ඇත’ යනුවෙන් එහි සඳහන් විය. මෙම නව රෙගුලාසිය මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමිකයින්ගේ ආදාහන චාරිත්‍රවලට සෘජු බලපෑමක් එල්ල කළේ ය. විශේෂයෙන්ම මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ මියගිය තැනැත්තන් ආදාහනය කිරීම ආගමික ඉගැන්වීම්වලට පටහැනි ක්‍රියාවක් වශයෙනි. මෙම සීමාකිරීම සඳහා විද්‍යාත්මක පදනමක් නොතිබූ අතර එවකට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙම ගැටළුව සම්බන්ධයෙන් ලබාදී තිබූ මාර්ගෝපදේශවල සඳහන් වී තිබුණේ ආදාහනය අනිවාර්ය කළ නොයුතු බවත් මියගිය තැනැත්තන් එක්කෝ භූමදාන කිරීමට හෝ ආදාහනය කිරීමට හැකි බවත් ය. වෙනස්කොට සැලකුම් නොලැබීමට ඇති මූලික අයිතිය සහ ආගම හෝ විශ්වාසය ප්‍රකාශ කිරීමට ඇති නිදහස 61A රෙගුලාසියෙන් උල්ලංඝනය වන්නේය යන පදනමින් පෙත්සම්කරුවන් කිහිපදෙනක්ම 61A රෙගුලාසිය අභියෝගයට ලක් කළහ. කෙසේනමුත්, බෙදුනු තීන්දුවක් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් නිෂ්ප්‍රභා කරන ලදී. මෙම සීමාකිරීම්වලට කිසිදු සාධාරණ පදනමක් ඇති බවක් පෙනෙන්නට නොතිබුණත් මෙම සීමාකිරීම් පවත්වාගෙන යාම අධිකරණයෙන් තහවුරු කරන ලදී.
මෙම නඩුකර දෙකෙන්ම පිළිබිඹු කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සීමාකිරීම් සැබෑ මහජන යහපත වෙනුවට බහුතර ලැදියාවන් ඉදිරියට ගෙනයාම සඳහා යොදාගැනීමට ඇති හැකියාවයි. 2019 පැනවූ 32A රෙගුලාසිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(7) ව්‍යවස්ථාව යටතේ ‘ජාතික ආරක්ෂාව’ යන විෂයයපථයට ඇතුළත් වුවත්, එය නිර්මාණයට තුඩු දුන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ සැබෑ උනන්දුවක් නොව ‘ඉස්ලාමික’ ඇඳුම්පැළඳුම් ඇතුළු ඉස්ලාම් ආගමේ බාහිර සංකේත සම්බන්ධයෙන් බහුතරයේ වූ එදිරිවාදී හැඟීමක් පදනම් කරගනිමිනි. ඇතැම් ඉස්ලාමික ඇඳුම්පැළඳුම් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යට ඇති තර්ජනයක් සංකේතවත් කරන්නට ගෙන තිබේ. නිකාබය තහනම් කිරීම මුස්ලිම් ආගමික ඇඟළුම් සම්බන්ධයෙන් පෙර සිට පැවති අගතිකාරී හැඟීම් සමගින් සමපාත විය. බොදු බල සේනා (BBS) වැනි සිංහල-බෞද්ධ සටන්කාමී කණ්ඩායම් බොහෝ විට මෙම ප්‍රතිවිරෝධතා ප්‍රයෝජනයට ගෙන නිකාබය තහනම් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ ක්‍රියාත්මක කර ඇත. එවැනි ව්‍යාපාර සිංහල-බෞද්ධ ප්‍රජාවේ සමහර කොටස්වල අදහස් සමඟ අනුනාද වේ. මෙම පසුබිම තුළ, මුහුණු ආවරණ තහනම් කිරීම සැබැවින්ම ඉස්ලාමීය ඇඳුම් සම්බන්ධයෙන් පෙර සිට පැවති බහුතර විරුද්ධත්වය සමඟ සමපාත වූ සීමා කිරීමක් වේ. එකී සීමා කිරීම ‘ජාතික ආරක්ෂාව’ විෂය පථය තුළට වැටුණු බව පෙනෙන්නට තිබුණද, එයින් අවසානයේ පිළිබිඹු වන්නේ බහුතරවාදය ‘මහජනයාගේ යහපත’ පිළිබඳ රාජ්‍ය සංකල්පයට රිංගා ගෙන එය හැඩගස්වන ආකාරයයි.
මුස්ලිම් පුද්ගලයින්ගේ භූමදාන චාරිත්‍ර සීමා කිරීම සඳහා ද පදනම සැලසූයේ මෙවැනි ම බහුතරවාදී පෙළඹවීම් ය. මෙම තහනම පැනවූයේ මුස්ලිම් ජනතාව යනු කෝවිඩ්-19 රෝග වාහකයින්ය යන මතය මාධ්‍ය හරහා පිළිබිඹු කෙරුනු කාලයක දී ය. මුස්ලිම් ජනයා ඉලක්ක කරගත් වෛරී කථනය තුළ බොහෝවිට මුස්ලිම් ජනයා පිළිබිඹු කලේ විශාල ප්‍රජාවන් වශයෙන් ‘වෙනම ජීවත්වන’ සහ නිසි ස්වස්ථතා පුරුදු පිළිනොපදින පිරිසක් ලෙසය. ප්‍රධානධාරාවේ දේශපාලඥයින් ද මෙම ආඛ්‍යානය තමන්ගේ වාසියට යොදාගත්හ. උදාහරණ වශයෙන් රජයේ අමාත්‍යවරයකු වූ මහින්දානද අලුත්ගමගේ එක්තරා ප්‍රදේශයක ලොක්ඩවුන් රෙගුලාසි කඩකළ අයගෙන් බහුතරය මුස්ලිම් පුද්ගලයින් යැයි ජාතික මට්ටමේ රූපවාහිනි නාලිකාවල ව්‍යාජ චෝදනා එල්ල කළේය. විශේෂයෙන්ම, එවන් සීමාකිරීමක් සඳහා විද්‍යාත්මක පදනමක් නොමැති විටක මුස්ලිම් භූමදාන චාරිත්‍ර සීමාකිරීම අර්ථනිරූපණය කළයුතු වන්නේ එම සීමාකිරීම් පැනවූ පොදු දේශපාලන පසුබිම තුළයි. එවිට මෙය මහජනයාගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට වඩා බහුතර ප්‍රජාවේ වූ මුස්ලිම් විරෝධී හැඟීම ඇවිළවීමට සහ එය සතුටු කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් වන බව පැහැදිලි වේ.
‘ආගමික කටයුතු සහ සදාචාර වර්ධන’ අමාත්‍යාංශය විසින් 2008 නිකුත් කරන ලද චක්‍රලේඛය සහ (එම විෂයභාර අමාත්‍යාංශයෙන්ම) 2013 දී ආගමික ආයතන ඉදිකිරීම සීමා කිරීම සඳහා නිකුත් කළ චක්‍රලේඛය භාවිතා කිරීම, FoRB මත පැනවූ අසාධාරණ සීමාකිරීමක් සඳහා තවත් උදාහරණයකි. ෆාරිල් සහ තවත් අය එ. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව සහ තවත් අය නඩුවේ දී ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම 2013 චක්‍රලේඛය ඇගැයුමට ලක් කරන ලදී. මෙම නඩුවේදී, එක්තරා මුස්ලිම් කණ්ඩායමක් ආගමික අධ්‍යාපන ආයතනයක් ඉදිකිරීමට යෑමේදී ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුවක් සහ ගම්වාසීන්ගේ විරෝධතාවලින් පසුව, පළාත්පාලන ආයතන නිලධාරීන් සහ ප්‍රදේශයේ පොලිසියේ නිලධාරීන් ඉදිකිරීම් සිදුකිරීමෙන් ඔවුන්ව වලක්වා තිබේ. සමානාත්මතාවය සහ වෙනස්කොට නොසලකනු ලැබීමට තමන්ගේ අයිතීන් උල්ලංඝනය වී ඇතැයි එම මුස්ලිම් පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. මෙහිදී අධිකරණය එම පෙත්සම නිෂ්ප්‍රභා කරමින් එකී සීමාකිරීම නීත්‍යානුකූල බව තීරණය කරන ලදී. මෙහිදී ‘රටේ අනෙක් ප්‍රදේශවලටත් පැතිර යා හැකි අර්බුදකාරී තත්වයක් මගහරවා ගැනීම’ සඳහා විරෝධතා සම්බන්ධයෙන් ‘නිසි සැලකිල්ලක්’ දැක්වීම කළ යුතුව තිබුයේ ය යන පදනමින් අධිකරණය රජයේ නිලධාරීන් විසින් ගෙන තිබූ තීන්දුව පිළිගන්නා ලදී. ඉදිකිරීම් අත්හිටවූයේ නැතිනම් ‘මහජන සාමයට’ තර්ජනයක් ඇතිවිය හැකිව තිබූ බව අධිකරණයේ අදහස විය. කෙසේනමුත්, මුස්ලිම් ආගමික ස්ථානයක් ඉදිකිරීම එම ප්‍රදේශයේ බෞද්ධ ප්‍රජාවට තර්ජනයක් වශයෙන් සලකනු ලැබූ හෙයින්, එම තීන්දුව හරහා සිදුවූයේ බහුතරවාදී ලැදියාවන් නීත්‍යානුකූල කිරීමයි. සීමා කිරීම සිදුකළේ බහුතර ප්‍රජාව සතුටු කර කෝලාහල නොකර සිටීමට ඔවුන් කැමති කරවා ගැනීම අරමුණු කරගෙන ය. මෙම සීමාකිරීමට පදනම වශයෙන් මහජන යහපත (එනම් ‘මහජන සාමය’) හේතුවක් වශයෙන් දැක්වුවත්, සැබැවින්ම මහජන සාමයට තර්ජනයක් එල්ල වූයේ අදාළ ආගමික ක්‍රියාවට ප්‍රතිචාර දැක්වූ පිරිසෙන් මිස අදාළ ආගමික ක්‍රියාව තුළින් නොවේ. එවන් පසුබිමක් තුළ මෙකී සීමාකිරීම සාධාරණ යැයි සැලකිය හැක්කේ කෙසේද යන්න අවබෝධ කරගැනීම දුෂ්කරය.
නිගමනය
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ නීතිමීමංසාවෙන් FoRB මත සීමාකිරීමක් පැනවීමේදී ඊට අවසර ලබාගැනීම සඳහා සපුරාලිය යුතු නීතිමය නිර්ණායක පැහැදිලිව දක්වා තිබේ. සීමාකිරීමක් (1) නීතියෙන් නියම කර තිබිය යුතුය, (2) නිශ්චිත මහජන ලැදියාවක් සමගින් සම්බන්ධ විය යුතුය, සහ (3) සාධාරණ විය යුතුය. කෙසේනමුත් ප්‍රායෝගික භාවිතයේ දී, ForRB මත පනවා ඇති අසාධාරණ සීමාකිරීම් වැළැක්වීමට උසාවි සැමවිටම මැදිහත් වී නැත. සුළුතර ආගමික කණ්ඩායමක් විසින් සිදුකරන විශේෂිත ආගමික ක්‍රියාවකට හෝ ප්‍රගුණ කිරීමකට බහුතර ප්‍රජාවක් විරුද්ධ වූ විට මෙම අවස්ථා උද්ගත වන බවක් පෙනී යයි මේ අනුව බොහෝ විට ForRB මත සීමාකිරීම් පනවා ඇති ආකාරය හැඩගස්වා ඇත්තේ බහුතර කණ්ඩායමේ ලැදියාවන් මගිනි. මෙවන් පසුබිමක් තුළ අධිකරණය තවමත් සාධාරණත්වයේ ප්‍රමිතිය ස්ථාවර එකාකාරී අන්දමින් අදාළ කර නොමැත. එසේ කිරීම ForRB සීමා කිරීමට සඳහා රාජ්‍යයට ඇති අධිකාරී බලය මත වැදගත් සංවරණයක් පනවනු ඇති අතර අවසානයේ ශ්‍රී ලංකාවේ ආගමික සුළුතර කණ්ඩායම්වලට ඔවුන්ගේ අයිතිවාසිකම් අර්ථවත් ලෙස භුක්ති විඳීමට හැකි බව සහතික කරනු ඇත.
පිළිබඳ තීරණාත්මක පරීක්‍ෂණයක් සිදු කෙරෙන අතර, අවසානයේ ශ්‍රී ලංකාවේ ආගමික සුළුතරයන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් අර්ථවත් ලෙස භුක්ති විඳීමට හැකි බව සහතික කරනු ඇත.